Tuesday, December 14, 2010

සඳ කුමරියනේ..........


ළා දළු මතින්...
දහසක් කිරණ සලමින්..
ලොවම නහවමින්..
ලොවේ ගණඳුර මකමින්..

සිත් සතන් සනසන..
සැමට එක ලෙස සලකන...
තරුකැලට රැජින වුන..
යලිත් දිනයක නැග එන..

සඳ කුමරියේ ඔබ එළියෙන්...
සැන සුන නෙතින් බලමින්..
හදට සුව ගෙන දෙන්..
එතෙක් සිටිනෙමි අහස බලමින්..

Sunday, November 21, 2010

මල් වැස්සට පසු......


වැස්සක් එනතරු බලා සිටියදී...
දුටුවෙමි වැසි ලකුණක්...
සෙමෙන් සෙමෙන් එය ....
මාවෙත එනු දැක.....
ඉපිලුනි එද සතුටින්...

සිහින් පොදක් ලෙස...
හද මලට වැසි දිය වැටෙනා...
වියැලුනු සිතිවිලි ඒ වැසි දියරෙන්..
සැනසෙන්නට සිතනා...

එනමුදු කව්රුත් නොසිතූ මොහොතක..
යන්තම් පිණිපොද ගැටුනද පලනැත..
නැවතත් නියඟය ඇවිදින් වාගේ...
මල් වැස්සට ඇයි මොකද උනේ..

ආයෙත් දවසක...
ඈතින් ඈතින්...
වැස්සක් සමගින්..
සුළඟක් කවදාදෝ එන්නේ...

Friday, October 29, 2010

ආදරණිය ලැසියේ.....


අව්වට දැවෙමින්....
වැස්සට තෙමෙමින්.....
සිසිල් සුළ‍‍ඟේ පහසින් සැනසෙමින්...
යන දිවි ගමනේ.....

සුරතල් වදන් ඇසූ හඬින්ම...
දිනක රළු වදන් ඇසුනද...
ආදරෙයි කියු මුවෙන්ම....
දිනෙක එපා යැයි කී අය ඇති ලොකයේ...

ඒ කිසවකුත් නොදැකමදෝ...
නැතිනම් සියල්ල වටහාගෙනදෝ...
සැමදාම ගෙදරට ගොඩවන විට...
සුපුරුදු ලෙසින්ම....

වල්ගය වනමින්...
ඇඟට පනිමින්.....
දෙපා ලෙව කමින්
සැමදා සුපුරුදු ආදරය දැක්වූ...

ආදරණිය ලැසී කෙල්ලේ...
මිනිසුන් ළඟ නැති ආදරයක්...
අපට ලබාදෙමින්.....
කෙටි කලකින්ම අපහැර ගියත්...
අපට ඔබ සැමදා අමතක නොවේ...


Monday, October 4, 2010

ගමනට වාරුවක් නැතිද......?

Petrol නැතිව අමාරුවෙන්.....
Neutral ගසමින්.....
හෙමින් හෙමින් ......
තල්ලු කරමින්......
මගේ ගමන මම යද්දි.........
ඔබ ඇවිත් මට......
Full tank ගහල දුන්නම....
මම හිතුවේ මුළු ගමනම......
යන්න ඇතිවෙයි කියල....

එත් කව්ද හිතුවේ...
ටැංකිය පිටින්ම ......
ගලවන් අරන් යයි කියල.....

Wednesday, August 25, 2010

උන්මාද සිතුවම්...

ගුණදාස කපුගේ ශූරීන් අගොස්තු 7 වෙනිදා සිය 65 වන ජන්ම දිනය සමරනු ලැබුවා. එහෙත් එදිනට ඔහු ජීවත්ව සිටියේ නැති බව අප කවුරුත් දන්න දෙයක්. ඔහු නික්ම ගිහින් දැන් අවරුදු 7ක් විතර. කපුගේ යනු ඔහු ජීවත්ව සිටියදී වගේම අදටත් ඔහු තමා මගේ ප්‍රියතම ගායකයා. කපුගේ ගායනාකළ ගීත අදටත් එක වගේ ජනප්‍රියයි. ඒ අතරින් මගේ අංක එකේ කැමැත්ත උන්මාද සිතුවමට. මෙය මගේ ජීවිතයේ ඇසූ හොඳම ගීතය. ඒ වගේම මේ ලංකාවේ එතෙක් මෙතෙක් ගැයුනු ‍විශිෂ්ඨම ගීතයක් ලෙස දක්වන්න පුවවන්. 1980 මාර්තු මාසයේ තිරගතවුන හර්බට් රංජිත් පීරිස් ගේ එක් ටැම් ගේ චිතුපටයට ගායනා කළ මේ ගීතය දැන් දශක 3ක් පැරණි එකක්. රංගනයෙන් මාලනී ෆෝන්සේකා, රවින්ද්‍ර රන්දෙණිය සමග ජෝ අබේවික්‍රම දායක වෙනවා. මේ ගීතයේ පසුබිම් දර්ශනය වගේම ගීතයත් මගේ හදවතට හොඳින් දැනෙන එකක්. මෙහි මුල් ගායනය සඳහා සංගීතය ලබා දීමේදී සරත් දසනායකයන් බොක්ස් ගිටාර් 6 ක් යොදාගෙන ඇති බව සඳහන්. අහල බලන්න මට වගේම ඔබටත් මෙය හදවතට දැනෙනවද කියා. පසුගිය කාලය පුරාම කපුගේ සූරාකෑමට ලක්ව ඇති නිසාත්. මේ ගී තැටි අලෙවියෙන් ඔහුගේ පවුලේ අයට වන යහපතක් නැත් නිසාත් මේ පදවැල සමග ගීතයත් දෙන්න හිතුවා.
පද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, සංගීතය සරත් දසනායකයන්. මේ කපුගේ ගේ උන්මාද සිතුවම.

උන්මාද සිතුවම් මැවේ බි‍ඳේ.
මීදුම් වලා මැද අතීතයේ.
බිඳුනු පෙමින් ගිනිගත් හදවත්.
තනිවේවි එක් ටැම්ගේ...

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදෙකලා සුළඟ පමණි උරුමේ
හඬා වැටෙන සිත සදා සරණ මට
තනිවේවි එක් ටැම් ගේ...

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මගේ සුවඳ පොද
තනිවේවි එක් ටැම් ගේ..

Monday, August 23, 2010

අල්විස් මැතිඳු සමරමු

කවියෙන් රටක් නැළවූ මහ කවිදේ ...
ඔබගේ වදන් තවමත් එක ලෙස රැව්දේ....
සිහි කරනෙමු ඔබේ ගුණ නිබදේ....
ඔබයි මහා කවි සඳ අප සැමගෙ හදේ....

කවියට ඉටුවූ අගනා මෙහෙය...
අපගේ කවි වලට අද මල් මාවතය....
කිමට වචන නම් මට නිම නෑය...
මතු භවයෙදිත් සරසනු මැන කවි යාය....

සතලිස් වසර කට එපිටදි සමු ගත්තේ....
එනමුදු කවි පොතේ ජීවත් වෙනු ඇත්තේ....
කවියන් ඇතත් ඔබ හා සමවනු නැත්තේ....
ඔබටයි පළමු තැන කවදත් දිය යුත්තේ....

කොළඹ යුගයේ විසූ මහා කවියෙකු වූ පී. බී. අල්විස් පෙරේරා මහතා දැයෙන් සමුගෙන පසුගිය 21 (අගොස්තු 21) දිනට වසර 44ක් ගතවිය. තවමත් එදා මෙන්ම ඔහුගේ නිර්මාණ අපේ සාහිත්‍යය පොෂණය කරනු අපි දකිමු. ඔහු තම නිර්මාණ සමග තවමත් අප සමග ජීවත් වන්නේ එහෙයිනි. මා ඔහුගේ රූපයක් අන්තර්ජාලයේ සෙව්වද හමු වූයේ ඉහත මුද්දරයක ඇති රූපය පමණි. ඇත්තෙන්ම මෙවන් ලේඛකයන් ගැන අපගේ දැනුම මඳ බවක් හැ‍‍ඟේ. ඔවුන්ගේ නිර්මාන තවමත් අප සමග ඇති නිසා ඒවා ආරක්‍ෂාකරගෙන ඉදිරියට ගෙන යාම අප සැමගේ වගකීමක්. පී. බී. අල්විස් පෙරේරා මැතිඳුනි ඔබේ කවිත් සමග ඔබ සැමදා අමරණියයි.

මේ ඔහුගේ කවියකි.
පහනක් නිවී ගිය මෙන් තෙල් නොමැති ලෙසින්..
ගිලිහුණු දුලබ ගණයේ වන මලක ලෙසින්...
අඳුරේ ඈත දිවගිය දෙව් එළිය වෙසින්...
කවියා මළත් ඔහු නොමැරේ මතක විසින්...
පී. බී. අල්විස් පෙරේරා

Sunday, August 22, 2010

විස්ටාගෙන් ලිනක්ස්ට


සැමදා මයික්‍රොසොෆට් ගැටෙනා සිතට
සිතුනා ලිනක්ස් දාගෙන හැඩ බලන්නට...
කැමැත්තනම් තිබුවෙම නෑ උබුන්ටුට...
කවදත් වගේ මම කැමතිම රෙඩ් හැට්ට...

දෙසිය පණහෙ දෘඩ තැටියකි මෙහි ඇත්තේ...
සියයට අසූවක් විතරම පිරිලයි ඇත්තේ....
ෆෝමැට් කරොත් කිසිවක් සුරැකෙනු නැත්තේ...
අළුතින් එකක් දා ගැනුමයි කළ යුත්තේ...

දාගෙන ෆෙඩෝරා මගෙ පරිගනකයට...
දුන්නා මහ සටනක් කොන්ෆිග් කරන්නට....
පහසු වුනේ නම් නෑ මට ගැලවෙන්ට...
කෙලෙසක පරදිම්ද මේ කොම්පූ ටරයකට...

සිංහල යුනිකෝඩ නැතුවම බැරුවාය...
ගිනි හිවලා වැඩකට නම් නැතුවාය...
ගූගල් ක්‍රෝම් මාහ හරි අගනේය...
yum ඉන්ස්ටෝලයෙන් මම ගොඩ යන්නේය...

තව තව කරන්නට දේ එමටම ඇත්තේය..
දවසට කරන්නට වැඩ නිම නැත්තේය...
ගූගල් දෙවිඳු පිහිටෙන් මම රැකුනේය...
ජාලය නැතුව ගිය දින වැඩ නැත්තේය..


Friday, August 20, 2010

වන අරණක.....

ගහ කොළ පිරුණු වනයක ඇති පහස..
සීතල දියෙන් පිරි කඳුලක් නිවනා පවස..
නිතරම දුටිමි මා නම් මගෙ පෙර දවස..
සිහිනෙන් දකිමි ඒ අසිරිය සැම සවස...

සම්බුදු හිමිගේ සදහම් නිති රකින....
මහ සඝ ගණ සුවසේ වසන....
නිති බවුන් වඩමින් වසන...
වනයක තිබුනි මේ සදහම් අරන....

බුදු සමිඳුගේ අන්න්ත ගුණ සිහි කරලා...
පිරිසිදු සිතින් දන් ගිලන් පස සදලා...
මහ සඟ වෙතට පිදුමට පින් සිහි කරලා..
අප සැම ගියෙමු සියල්ල ගෙන කදලා...

යහපත් වදන් ඔවදන් පමණයි ඇසුවේ..
සිලු සුවඳයි ඉන් දස අත හැමුවේ...
නිහඬ බවකි ඉන්පසු දැනුනේ...
පිරිසුදු සුලං පමණයි දස අත හැමුවේ...

මෙවන් තැනක් දුටු අයෙක් සිටීනම් කියලම යන්න..


Thursday, August 19, 2010

ආදරණීය ඩෙංගු මදුරුවෝ

පුහු අදහස් ඇති මිනිස්සුන්ට මරණය මතක් කළාට..
ගෙවල් වටේ කුණු ගොඩවල් ඇති බව මතක් කළාට....
සති අන්තය වැඩ කරන දවස් බවට පත් කළාට...
ලෙඩ රෝග කාටත් එකයි කියා පෙන්නුවාට...

මැති ඇමති වරුන්ටත් වැඩ කරන්න දුන්නට...
රෝහල් වල තත්වය රටටම පෙන්නුවාට..
වැඩක් නැතිව සිටි නිළධාරීන්ට වැඩ දුන්නට...
දේශපාලනයත් හොල්ලලා පෙන්නුවාට..

මෙකී නොකී සෑම දෙම කළ නුඹට...
දස දහස් වාරයක් ස්තූතියි ආදරණීය ඩෙංගු මදුරුවෝ...
මේ කළ හපන්කම් වලට...

Wednesday, August 18, 2010

මියුරු කල්පනා

පිදුමක් සමග පටන් ගත් මේ බ්ලොග් එක තාම ළදරුවා. හරියටම කිව්වොත් ඇත්තටම ‍මම මේක පටන් ගත්තේ අගෝස්තු 11 වෙනිදා. හැබැයි පබ්ලිෂ් කලේ නම් දැනටමත් ආපු අය දන්න පරිදිම 12 වෙන්දා තමයි. මේක කරන්න අදහස සිතට ආවේ 10 වෙනිදා. මුලින්ම තිබුන ප්‍රශ්නේ මොකක්ද දාන නම කියන එක. ඔහොම ඉන්න කොට රෑ මට විකටර් රත්නායකයන් ගයන මියුරු කල්පනා ගීතය අහන්න ලැබුනා. ඒ මොහොතෙම මට සිතුනේ මේනම මගේ කල්පනාවට වඩාත්ම හොඳයි කියා. මේ ගීතය දිනුම් කණුව චිත්‍රපටයට වික්ටර් රත්නායකයන් ගායනා කරන ලද්දකි. සංගීතයත් වික්ටර් ගෙන් මයි. පද රචනය අප අතරින් වියොවූ ප්‍රේමකීර්ති ද අල්විස් ශූරීන් ගෙන්.

මෙන්න ඒ පද පෙලිය

මියුරු කල්පනා නෙතක දැල්වුනා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා
‍වරෙක නැලවුනා වරෙක ලතැවුනා
නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැලවුනා
මියුරු කල්පනා

හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්
මියුරු කල්පනා නෙතක දැල්වුනා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා
මියුරු කල්පනා...

පිණි බිඳකින් මුතු අමුනමි
දිනිසුරු ගෙන් සීතල දෙමි
කඩු තුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්
මියුරු කල්පනා...

Sunday, August 15, 2010

වැස්සක් වී වඩින්න මගෙ ලොවට


අව්වට දැවී කරවුනු මගෙ ලොවට
සෙවනක් නොමැත තවමත් මගෙ තනිකමට
දෙන්නට සිසිල සැමදා මගෙ සිතට
වැස්සක් වී වඩින්න ඔබ මගෙ ලොවට

සුළඟක් නැතිව දාහය ගලනා ගතට
කව්රුත් නොමැත චාමර සලන්නට
ජීවන ගමනෙ දාහය මගෙ නිවන්නට
සුළඟක් වී වඩින්න ඔබ මගෙ ලොවට

තුන්යම නින්ද නොලබන මගෙ නෙතට
සැනසුම ගෙනෙන දින නැත තව පෙනෙන්නට
සිසිලස රැගෙන උනුසුම් වූ මගෙ වතට
නිදිදෙව් දුවනි වඩින්න ඔබ මගෙ ලොවට

කරුවල රැයේ තනිවම හිඳිනා මෙමට
එළියක් නොමැත දිවි මග ඇවිදින්ට
සැමදා මගෙ ලොව ගණඳුර දුරලන්ට
සඳ කුමරිය වඩින්න ඔබ මගෙ ලොවට

Friday, August 13, 2010

ලේන පුතේ

ගසක සිටි ලේන අම්මෙක්...
කීවාලු ලේන පුතුට.....
අනේ මගෙ පුතේ ඔය මිනිස්සු ලඟට යන්න එපා...
ගිය පාර අපේ කූඩුව කැඩුවෙත්.....
හිටපු ගස් කැපුවෙත්...
ඔය රකුසන් ම තමා මයෙ පුතේ...

අනේ අසරණ ලේන පැටියා...
බයේ දුවනා විටදි මිනිහට...
පයක් ලිස්සා ගහෙන් වැටුනා...
නැගිට ගන්නට බැරුව උන්නා..

කෙහෙද යන බළලෙකුත් ආවා...
කපුටෙකුත් තම ගොදුර දුටුවා..
ලේන පැටියගේ හදේ ගැස්මට..
ලේන අම්මට පණත් නැතුවා..

නපුරු කියනා මිනිස් රැලකින්
ළමය කියනා කෙනෙක් ඇවිදින්..
බළල් කපුටන් පලවා හරිමින්...
වතුර පොවලා සිහිය ගත්තෙන්..
නැවත ගසටම යන්න ලැබුනා...

යක්‍ෂයාත් දෙවියනුත් ජීවත් වන්නේ එකම මනුෂ්‍යයාගේ
සිත ඇතුලෙයි. දෙවියන්ගේ නාමයෙන් ඒ යක්‍ෂයාට නම්
එළියට එන්න දෙන් එපා....
ලේන පැටවුන් දෙස මම බලාසිටිමි..

Thursday, August 12, 2010

ඇරඹුම


සිංහල බ්ලොග් අවකාශය මෝරනවා
කවියෙන් කතාවෙන් එහි රස ඉතිරෙනවා
මාගේ මතකයේ ඉඩ කඩ මදි වෙනවා
මියුරු කල්පනා අද දින උපදිනවා

සිතිවිලි හිතේ තෙරපෙන එලියට එන්න
බැහැ තවත් සිර කරගෙන ඉවසන්න
සිතිවිද වදන් කර මෙහි පෙල ගස්වන්න
ඔබෙ හදවතෙන් මදකුදු මට ඉඩ දෙන්න

මේ අඩවයේ ලියවෙන රස පද පේලී
තිබුනා කලක මගේ සිත පතුලෙ ගිලී
යන්නට නොදී මතකෙන් සමුගෙන වේලී
ගලපා ලියමි කවියෙන් එම එස පේලී

දවසින් දවස අපෙ දිවි මග කෙටි වෙනවා
දවසක ‍සැවොම හැරදා යන්නට වෙනවා
බ්ලොග් ලියවිල්ල දවසක මට ඇති වෙනවා
එදිනට මේව කියවා මම සැනසෙනවා

කවියෙන් කතාවෙන් සිත සනසා ගන්න
පින් ඇති සැවොම මේ අඩවිය වෙත එන්න
සිත් සේ ලියා ඇති පද වැල් කියවන්න
ගුණ දොස් කියා වදනක් දාලම යන්න


පිදුම


මා මෙලොවට බිහිකල ඔබේ ලේ කිරි කර පොවා යහ මග පෙන්වූ මෑණියනි, මගේ සියලු ඕනෑ එපාකම් කිසිදු අඩුවකින් තොරව ලබ දුන් නිතරම මා පසුපස එමින් මා දිරිමත් කරමින් යා යුතු මග පෙන්වූ පියාණෙනි මගේ පළමු තුති මල් මිට ඔබ දෙපළටයි.....
යායුතු මග සොයමින් යන විට නිසි මග පෙන්වූ, සිප් සතර උගන්වා මා සමාජයේ මේ තලයට ගෙන එන්න දායක වූ මාගේ ආදර ගුරු මෑණිවරුනි පියවරුනි මේ ඔබේ උත්තම සේවයට පිදෙන මල් මිටයි.....
සැමදා මා පසු පස එමින් මා දිරිමත් කරන මාගේ සොයුර මාගේ සොයුරිය ඔබ දෙදෙනාටයි මේ තුති මල් මිට....
මාගේ බ්ලොග් සගයිනි, කතන්දර කවි ආදියෙන් මාගේ සිත පුබුදු කළ කවි කතන්දර ලියන මිතුරු මිතුරියනි මාගේ ශක්තිය ඔබයි. මේ ඔබේ මල් මිටයි....
මාගේ කලණ මිතුරු මිතුරියනි, මාගේ ජීවිතයේ කවදා හෝ කොතැනදී හෝ මගේ දිවියට තුමන අයුරකින් හෝ සහය දුන් දුටු නොදුටු මිනිසුනි ඒ ඔබ දුන් සහයටයි මේ මල් මිට....
මියුරු කල්පනාවට ගොඩවන සැමටයි මේ මල් මිට...
එසේනම් මෙන්න මාගේන් මියුරු කල්පනා....